ජීවිතය බොහෝ දුර
ඔය දකින දිවිය නොව
බොළද බස් කතා නොව - හිරිමල් හිනා නොව
ඉන් එහා දුර ගිය මිරිඟුවකි සිත සිඹින
මුදු දෙපතුල් ගිනියම් වෙවි රැස්වලින් හිරුගේ සිරුර ගිනි ගෙන දැවි
වියලි ලේ රැදුනු තොල් සිඹින්නට පැන් පොදක් නැති
ගිණිකතර මත තනිව හිද හෙටක් ගැන හිතද්දි
ජිවිතය හැඳින්නෙමි - උණුසුමත් දැරිය යුතු බව
කට්ට කලුවර පුංචි කාමරවල දිනගනන් ගෙවෙද්දි
දාහය දැනි අඩන්නට කදුලු නැති වී හිසම ගිණිගනිද්දි
කොපුල් මත රැදි දූ පිසින්නට සිතක් නැතිවී අවුල් වූ හිස්ඇතිව
ජිවිතය දැක්කෙමි - දූවිල්ල දැරිය යුතුබව
අවජාතකව වැදූ උන්ගේ සාගින්න අසද්දි
ඇගේ දුක්ගීය දෙනෙත් අස්සෙන් කීයද්දි
නොමැතිබව පිළිසරණ දහස්වර හිත කියද්දී
ජීවිතය හැදින්නෙමි - කුසිගින්න උරුමබව
ගතරුහිර මිදිගල්වී ලේනාල සැලෙද්දි
එකමඑක ඇදුමකින් සැරසිලා සීතලේ දුර යද්දි
සුදුම සුදු හිම පියලි , නාසයෙන් වැටි ඒ ලෙයින් රතු වෙද්දි
ජීවිතය හැඳින්නෙමි.... සීතලත් දැරිය යුතු බව
දෙනෙත් නිල් පුලිඟු මෙන් රෝසකල කොපුල් ඇති
සොදුරු නොසිදිස අබිසරලියන්ගේ නුරාවන් දකිද්දි
සැලුනු සිත් ඇතිව ඇති ඈටම පානගද්දි
මඟින්මඟ ඈ පැමින කියූ දුක් ගීය අසද්දි
ජිවිතය හැඳින්නෙමි - සඟවගත් දුක්ගිනි තවතවත් ඇතිබව
කතාවට තබා සිනාසෙන්නටවත් ආල කෙනකුන් ලගනොරැදි
ගද ගහන දිගු මාවත්තුල සොයමින්යමක් උදේ රෑ ගෙවද්දි
බඩට බත් මුවට පැන් නැතිව හද රිදවමින් පාතබද්දි
ජීවිතය හැදින්නෙමි - හුදකලාවත් කලාවක් බව
අනෝරා දුක් වැසි වැටෙද්දි
අකුණු හෙණදිදී හදවතම සැලෙද්දි
මුනිවතම මිස විසදුමක් නැතිව ලතවෙද්දි
ජීවිතය හැදින්නෙමි - ඉවසීම තවත් රැකගතයුතු බව
සුවපහසු අසුන්මත වැදගතුන් සමඟින් රස බොජුන් ගනිද්දි
ලෙලෙන දිදිලෙන මිණි සලුවලින් සැරසි හිමින් පඬි නගිද්දී
නිසිම දේ ඇතිලෙසින් සුඛයන්ම විදිද්දි
ජීවිතය හැඳින්නෙමි - ලෝකයක් තුල තවත් ලෙව් ඇතිබව
ලඳ බොලඳ නොපවතින බොහෝ දේ ඇසෙද්දි
තනිවම සිනාසි සිතා ගමි ජීවිතය බොහෝදුර ඇතිබව
ඔය දකින දිවිය නොව
බොලඳ බස් කතානොව - හිරිමල් හිනා නොව
ඉන් එහා දුර ගිය මිරිඟුවකි සිත සිඹින